ලංකා වසම් ලේඛකාධිකාරියේ පැතිකඩ
ඉතිහාසය
ඩොට් කොම් (.com) ආදි වසම් නාම ලියාපදිංචි කිරීම මුලින් සිදු කරනු ලැබුවේ එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උසස් පර්යේෂණ ව්‍යාපෘති නියෝජිතායතනය විසින් පිහිටුවන ලද ආර්පනෙට් (ARPANET) ජාල තොරතුරු මධ්‍යස්ථානය (NIC) විසිනි. එක්සත් ජනපදයේ අන්තර්ජාල පැවරුම් අංක අධිකාරිය (IANA) විසින් රටවල් සඳහා කේත වසම් ඒ ඒ රටවල අන්තර්ජාලයට සම්බන්ධ පුද්ගලයින්ට පවරන ලදී. ඒ අනුව 1990 දී .ලංකා (.LK) වසම මුලින් ම පවරනු ලැබුවේ එවකට ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ සිටි ආචාර්ය ගිහාන් ඩයස්ට වන අතර ඔහු එහි සිට එම වසම ක්‍රියාත්මක කළේ ය. ඔහු මුලින් . ලංකා වසම් ලේඛකාධිකාරියේ (.LK Domain Registry) ලේඛකාධිකාරී තනතුර දැරූ අතර පසුව එහි ප්‍රධාන විධායක නිලධාරියා විය.
ආචාර්ය ඩයස් 1992 දී මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක සහ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස වැඩ භාර ගත්තේ ය. අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස, ඔහු විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා සහ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව .ලංකා වසම් ලේඛකාධිකාරිය (.LK Domain Registry) පුද්ගලිකව මෙහෙයවන ලදී.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා අන්තර්ජාලය වර්ධනය වීමට පටන් ගත් විට, .ලංකා වසම (.LK Domain) පිළිබඳ ප්‍රතිපත්ති සහ මූල්‍ය වගකීම් භාර ගන්නා ලෙස ආචාර්ය ඩයස්, පරිගණක හා තොරතුරු තාක්ෂණවේද සභාවෙන් (CINTEC) ඉල්ලා සිටියේ ය. මෙය 1996 දී සිදු වූ අතර, මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා සහ ඉංජිනේරු අංශයේ ආචාර්ය ඩයස් විසින් මෙහි මෙහෙයුම් කටයුතු දිගටම ඉටු කළේ ය. ලේඛකාධිකාරය විසින් භාවිතා කරන ලද පහසුකම් සඳහා විශ්වවිද්‍යාලයට ගාස්තුවක් ගෙවන ලදී.
2001 ඔක්තෝබර් මාසයේ දී, පරිගණක හා තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) අන්තර්ජාල කමිටුව විසින්. ලංකා (.LK) පරිපාලනය සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවීමට යෝජනාවක් ඉදිරිපත් කළ අතර, ජාත්‍යන්තර භාවිතයන්ට අනුකූලව, ප්‍රතිපත්ති සැකසීම ඔවුන් දිගටම කර ගෙන යන බවට සහතික විය. 2003 මැද භාගයේ දී තොරතුරු හා පරිගණක තාක්ෂණ නියෝජිතායතන (ICTA) පනත සම්මත වීමෙන් පසු පරිගණක හා තොරතුරු තාක්ෂණවේද සභාව (CINTEC) වසා දැමීම නිසා මෙම යෝජනාවට තිබුණේ කෙටි ආයු කාලයකි. අලුතින් පිහිටුවන ලද තොරතුරු හා පරිගණක තාක්ෂණ නියෝජිතායතනය (ICTA) අන්තර්ජාල වසම් නාම ලියාපදිංචි කිරීම පිළිබඳ පරිගණක හා තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) වගකීම් භාර ගැනීම ප්‍රතික්ෂේප කළ අතර .ලංකා (.LK) වසම් ලියාපදිංචි කිරීම් සඳහා තොරතුරු හා පරිගණක තාක්ෂණ නියෝජිතායතනය (ICTA), විදුලි සංදේශ නියාමන කොමිසම (TRC) සහ අනෙකුත් අදාළ පාර්ශව කරුවන්ගේ නියෝජනය සහිත ස්වාධීන ආයතනයක් පිහිටුවීමට නිර්දේශ කරන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2004 මාර්තු 5 වන දින .ලංකා(.LK) වසම් ලේඛකාධිකාරිය වගකීමෙන් සීමිත සමාගමක් (Company limited by guarantee) ලෙස සංස්ථා ගත කරන ලදී. වෙනම ව්‍යාපාරික ස්ථානයක් සඳහා ක්ෂණික අවශ්‍යතාවක් නො තිබූ බැවින් මොරටුව විශ්වවිද්‍යාලය, එහි උප කුලපතිගේ අවසරය ඇතිව ලියාපදිංචි කිරීමේ කටයුතු සඳහා පහසුකම් සැලසීම දිගටම කර ගෙන ගියේ ය.
එබැවින්, .ලංකා (.LK) වසම් ලේඛකාධිකාරියේ ලියාපදිංචි ලිපිනය, තාවකාලික පදනමක් මත මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු දෙපාර්තමේන්තුව ලෙස දිගටම පැවතුණි.
නව පරිශ්‍රය
කෙසේ වෙතත්, 2010 දී මොරටුව විශ්ව විද්‍යාලයට වෙනත් කටයුතු සඳහා ලේඛකාධිකාරියට ලබා දී තිබූ ඉඩකඩ අවශ්‍ය වූ බැවින් තම පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස ලේඛකාධිකාරියෙන් ඉල්ලා සිටියේ ය. 2011 ජනවාරි 11 වන දින, ලේඛකාධිකාරය නව ව්‍යාපාරික පරිශ්‍රයකට මාරු වූ අතර එතැන් සිට විශ්ව විද්‍යාලයෙන් පිටත ක්‍රියාත්මක වේ.
පාලක මණ්ඩලය
විනිවිදභාවය සහ යහපාලනය පවත්වා ගැනීමත් අන්තර්ජාල ප්‍රතිපත්තියට රජය සම්බන්ධ වීමේ අවශ්‍යතාවත් සපුරාලීමත් සඳහා .ලංකා (.LK) වසම් ලේඛකාධිකාරියේ කළමනාකරණ මණ්ඩලයට පහත සඳහන් අය සැම විට ම ඇතුළත් කර ඇත.
- මොරටුව විශ්වවිද්‍යාලයෙන් නම් කරන ලද සාමාජිකයෙක්
- ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් නම් කරන ලද සාමාජිකයෙක් සහ
- ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) විසින් නම් කරන ලද සාමාජිකයෙක්.
මීට අමතරව, අන්තර්ජාල සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවෙන් සහ බලපත්‍රලාභි අන්තර්ජාල පහසුකම් සපයන්නන්ගේ සංගමයෙන් නම් කරන්නන් ද එහි සිටී. අන්තර්ජාලය පිළිබඳ මනා දැනුමක් ඇති සහ ක්‍රියාකාරී අන්තර්ජාල භාවිතා කරන්නන් වන ඉහළ කීර්තියක් ඇති වෙනත් පුද්ගලයින් ද මණ්ඩලයට තෝරා ගනු ලැබේ. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිසිවකුට හෝ සභාපතිවරයාට කිසිදු වේතනයක් නො ගෙවන අතර අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා ප්‍රසාද දීමනාවක් (honorarium) පමණක් ගෙවනු ලැබේ. වගකීමෙන් සීමා වූ සමාගමක් ලෙස, කොටස් හිමියන්ට ලාභ නො ගෙවන අතර, සියලු අතිරික්ත අරමුදල් අන්තර්ජාලයේ සංවර්ධනය සඳහා යොදා ගැනේ.
.ලංකා වසම් ලේඛකාධිකාරිය (.LK Domain Registry) එහි මූලික කාර්යය වන කාර්යක්ෂම සහ විශ්වාසනීය වසම් ලියාපදිංචි කිරීමේ සේවාවක් අඛණ්ඩව සපයයි. ඒ අතරම, ලේඛකාධිකාරිය අන්තර්ජාල සංවර්ධනයට සහය වන අතර, ශ්‍රී ලංකාවේ අන්තර්ජාලයේ සමස්ත වැඩිදියුණු කිරීම සඳහා කැප වීමෙන් ක්‍රියා කරයි.
ආයතනික සමාජ වගකීම
තාක්ෂණික දැනුමක් ඇති, ඵලදායිතාව ඉහළ නැංවීමට මෙවලම් භාවිත කළ හැකි සමාජයක් ගොඩනැගීමට ලේඛකාධිකාරිය දායක වී ඇති අතර සමාජයට ධනාත්මක දායකත්වයක් සැපයිය හැකි නවෝත්පාදකයින් වීමට අනාගත පරපුර දිරිමත් කර ඇත. වගකීම් සහගත ඩිජිටල් පුරවැසියන් ගොඩනැගීමට උපකාර වන ‘හිතවතී’ (Hithawathi) සහ BestWeb.lk වැනි ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති ගණනාවක් සමාගම විසින් ආරම්භ කර තිබේ. අන්තර්ජාලයේ වාසි සහ නිසි භාවිතය පිළිබඳ පුහුණු සහ දැනුවත් කිරීමේ වැඩසටහන් සෘජුවම ලේඛකාධිකාරිය විසින් මෙන් ම අධ්‍යාපන අමාත්‍යාංශය සහ අනෙකුත් සංවිධාන සමඟ සහයෝගයෙන් ද පවත්වනු ලැබේ.
.ලංකා වසම් ලේඛකාධිකාරිය (.LK Domain Registry) විසින් වසම් ලියාපදිංචි කිරීම් වෘත්තීය ආකාරයෙන් සිදු කෙරෙන බව සහතික කරනු ඇත. නව කර්මාන්ත ප්‍රවණතා ග්‍රහණය කර ගනිමින්, සහ අපගේ පුරවැසියන්ට එය ඵලදායී ලෙස භාවිතයට පහසුකම් සලසමින් අපි අන්තර්ජාලය දියුණු කරන්නෙමු.